Saturday, August 23, 2014

ඒබ්‍රහම් ලින්කන්ගෙන් ඔහුගේ පුත්‍රයාගේ පාසලේ මුල් ගුරුතුමාට ලිපියක්

ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපති ධූරය හෙබවූ ඒබ්‍රහම් ලින්කන් ලොව අසම සම ගනයේ දේශපාලනඥයෙකි. ගුරුවරයෙකු විසින් තම පුත්‍රයා තුළ විකසිත කළ යුතු ආධ්‍යාත්මික ගුණ වගාව පැහැදිලි කොට දක්වන ලද ලිපියක් දිනෙක ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ පුත්‍රයාගේ පාසලේ මුල් ගුරුතුමාට ලිව්වේය. අධ්‍යාපනය සම්බන්ධ අති විශිෂ්ඨ ගනයේ ලිපියක් ලෙස මෙය සැලකෙන අතර, මව්පියන්, ගුරුවරුන් හට මෙන්ම සිසුන් හටද අපූර්ව ඉගැන්වීමකි...

මුල් ගුරුතුමාණෙනි,

මගේ පුතාට කියා දෙන්න ලොවේ වෙසෙන හැම මනුෂ්‍යයෙකුම සර්ව සාධාරණ නොවන බව, එහෙත් ඔහුට කියා දෙන්න හැම අධමයෙකු, දුර්ජනයෙකු පාසාම ගුණ යහපත් වීරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඇත්තෙන්ම හැම දෙනාම අධම තක්කඩින් නොවේ. තක්කඩින් මෙන්ම යහපත් උදවියත් සිටිනා බව මගේ පුතාට උගන්වන්න. හැම ආත්මාර්ථකාමී දේශපාලකයෙකු වෙනුවට මේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වුණු යහපත් දේශපාලනඥයින්ද සිටිනා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. තවද, සෑම සතුරෙකු පාසාම මිතුරෙකුද සිටිනා බව ඔහුට කියා දෙන්න.

නොමිලයේ කෙසේ හෝ ලැබෙන ඩොලර් පහට වඩා තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනා කමින් වැඩි බව ඔහුට කෙසේ හෝ වටහා දෙන්න.

පරාජය විඳ දරා ගැනීමටත්, ජයග්‍රහණය නිහතමානීව සතුටින් බාර ගන්නටත් මගේ පුතාට උගන්වන්න. සමහරුන් ඊර්ෂ්‍යා සහගතව ඔහු යටපත් කරන්නටත්, ඈත් කරන්නටත් ක්‍රියා කරද්දී ඒ ගැන කළකිරීමෙන් තොරව සන්සුන්ව සිටිමින් යටි සිතින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ඔහුට කියා දෙන්න. තමන්ගේ බලපුළුවන්කාර කම පෙන්වා මිනිසුන් බිය ගැන්වීමට ඉදිරිපත් වෙන අය මේ ලෝකයේ පරාජය කරන්නට පහසුම අය බව ඔහුට අවබෝධ කර දෙන්න. මුල් ගුරුතුමාණෙනි, ඔබට හැකිනම්, පොත පතෙහි පවත්නා චමත්කාරය ඔහුට පෙන්වා දෙන්න. තවද, අහසේ පියාසර කරන සියොතුන්ද, ගුවනේ සැරිසරන මී මැස්සන්ද, නිල්වන් කඳු හෙල් මත විකසිත වන මල් ගොමුද පවසන සදාතනික රස රහස ගැන නිවී සැනසිල්ලේ මෙනෙහි කරන්නටද ඔහුට ඉඩකඩ සලසන්න.

වංචා කිරීමට, හොර මැර කම් කිරීමට වඩා පරාජයට මුහුණ දීම ගෞරවාන්විත බවත්, හැම කෙනෙකුම ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින අවස්ථාවේදී පවා තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා අගනා බව මුල් ගුරුතුමාණෙනි, ඔහුට වටහා දෙන්න. විනීත සුවිනීත මිනිසුනට ආචාරශීලී අන්දමින්ද, ප්‍රචන්ඩ මිනිසුනට තද ප්‍රතිපත්තියෙන්ද කටයුතු කළ යුතු බව ඔහුට උගන්වන්න. දුවන්නන් වාලේ නොදුවමින් බුද්ධිය මෙහෙයවමින් යුතුකම් අයුතුකම් තෝරා බේරාගෙන ක්‍රියාත්මක වීමේ ශක්තිය ඔහුට ලබා දෙන්න.

හැම කෙනෙකුටම සවන් දීමට ඔහුට උගන්වන්න. එහෙත් ග්‍රහණය කළ සියල්ලෙන් සත්‍යය නැමැති පෙනේරයෙන් හැලෙන හොඳ දේ පමණක් පිළිගන්නට ඔහුට උගන්වන්න. අවස්ථානුකූලව කඳුළු සැලීම අවනම්බුවට හේතුවක් නොවන බවද ඔහුට උගන්වන්න. හැම දෙයකම වැරදි සොයන්නන් ගැන සැලකිලිමත් නොවන්නටත්, අතිශය ප්‍රියමනාප සහගත චාටු බස් පවසන්නන්ගෙන් ප්‍රවේශම් වන්නටත් ඔහුට වටහා දෙන්න.

ඔහුගේ චිත්ත ශක්තිය ඉහළ මිලකට අලෙවි කළ යුතු අතර, හදවත සඳහා කිසි දිනෙක මිල තක්සේරු නොකළ යුතු බවද ඔහුට අවබෝධ කර දෙන්න. කලහකාරී පිරිසක් බෙරිහන් දෙන විට එයට සවන් නොදෙන්නටත්, සත්‍යය වෙනුවෙන් එඩිතරව පෙරට පිය නගමින් නිර්භයව සටන් කරන්නටත් ඔහු දිරිමත් කරන්න.

මුල් ගුරුතුමාණෙනි, ඔහුට මැනැවින් සලකන්න. එහෙත් අනවශ්‍ය අයුරින් ඔහු සුරතල් කිරීමෙන් වළකින්න. අනගි වානේ නිපදවන්නේ ගින්නෙන් රත් කොට ප්‍රික්සීමෙන් බව ඔහුට පැහැදිලි කරන්න. එමෙන්ම, ජීවිත ගමනේදී දහසක් දුක් ගිනි අත්දකින්නට අවස්ථා සැලසුණත්, ඒ අත්දැකීම් තමන්ගේ අභිවෘද්ධියට හේතු වන බව ඔහුට මැනැවින් අවබෝධ කර දෙන්න.

එඩිතර බව සඳහා අවශ්‍ය වන ඉවසීම ඔහු සතු විය යුතුය. ඒ නිසා තමන් තුළ උදාර ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඔහුට මග පෙන්වන්න. එවිට මනුෂ්‍ය වර්ගයා කෙරෙහිද එබඳු විශ්වාසයක් ඔහු තුළ ඇති කරගන්නට ඔහුට හැකි වන්නේය.

මා පවසන මෙම අධ්‍යාපනය මගේ පුතාට ලබා දීම භාරධූර කාර්යයක් බව මා දන්නවා. එහෙත්, ඔබට හැකි හැම දෙයක්ම මගේ දරුවා වෙනුවෙන් කරන්න. මගේ පුත්‍රයා ඔබ නිසා හොඳින් පන්නරය ලබනු ඇති බව මට විශ්වාසයි.

මෙයට, ඒබ්‍රහම් ලින්කන්

0 comments:

Post a Comment