නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වෙන කන්නන්ගර මහතා 1884 වසරේ ඔක්තෝබර් මස 13 දා අම්බලන්ගොඩ රන්දොඹේ ගමේදී උපත ලැබීය. ඒ මහතාගේ සම්පූර්ණ නම වන්නේ ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර යන්නයි. ඔහුගේ පියා ජෝන් ඩැනියෙල් විජේකෝන් වූ අතර, මව එමලින් විජේසිංහ වූවාය. අම්බලන්ගොඩ වෙස්ලි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කන්නන්ගර මහතා පසුව ශිෂ්‍යත්වයක් ලබා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළු විය. අනතුරුව නීතිඥ විභාගයට පෙනී සිටි ඒ මහතා ඉන් සමත් වීමෙන් පසු නීතිඥ වෘත්තියේ නියැලුණේය.
1915 දී සිදුවුණු කෝලාහලයට චෝදනා ලැබූ සිංහලයන් වෙනුවෙන් උසාවියේදී පෙනී සිටියේ එතුමායි. ලංකා ජාතික සංගමයේ සාමාජිකයෙකු වූ කන්නන්ගර මහතා, ව්‍යවස්ථාදායක සභාවටද තේරී පත් විය. අධ්‍යාපන කාරක සභාවේ සභාපතිවරයා වූ මෙතුමා මවුබස පාසල් වල උගැන්වීම දිරිමත් කළේය. එකල රජයේ පාසල්, භාෂා අනුව වර්ග කර තිබුණි. එම පාසල් පාලනය කළ කළමනාකරුවන්ගේ අත්තනෝමතික පරිපාලනය මැඩ පැවැත්වූ කන්නන්ගර මැතිතුමා මවුබස උගැන්වීම් අනිවාර්ය කළේය.
එසේම දිවා ආහාරය පාසල් දරුවන්ට නොමිලයේ ලබා දීමට කටයුතු කළ අතර, අධ්‍යපන ක්‍රමය විධිමත් කළේය. ගම්බඳ දිළිඳු දරුවන්ටත් පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු වස් කන්නන්ගර මැතිතුමා විසින් 1947 දී නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙන ලදි. විරුද්ධවාදීන් සමඟ මහා සටනක් කොට මේ පනත ජයග්‍රහණය කළ නමුත්, ඊළඟ මැතිවරණයේදී කන්නන්ගර මහතා සිය අසුනින් පැරදුණේය. දේශපාලනයෙන් හෝ නීතිඥ වෘත්තියෙන් හරිහම්බ නොකළ එතුමා සිය ජීවිතයේ අවසාන භාගයේදී පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග මත හා විශ්‍රාම වැටුප මත පමණක් යැපුණේය. මේ උදාර ලංකා පුත්‍රයා අවුරුදු 83 ක් ආයු වළදා 1969 වසරේදී සදහටම අපගෙන් සමුගත්තේය.